කඨින චීවර පූජාවේ උතුම් පුණ්‍ය කටයුත්තක් වන කඨින චීවරය සකස් කිරීම හා පඬු පෙවීමේ පින්බර අවස්ථාව.
බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අතීතයේ සිට පැවත එන උතුම් බෞද්ධ සම්ප්‍රදායන් හා ආගමික වත්පිළිවෙත් අර්ථවත් කරමින්, සැදැහැ සිතින් යුතුව කඨින චීවරය සකස් කිරීමේ හා පඬු පෙවීමේ පුණ්‍ය කටයුත්ත සිදු කෙරිණි.
මෙම උතුම් පින්කමට දායක වූ සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය හා උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා!










සමස්ත ලංකා බෞද්ධමහා සම්මේලනය පස්වනවරටත් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ අති උතුම් වූ කඨින පූජා මහෝත්සවය පුරා තුන්මාසයක් පුරාවට ත්‍රිකුණාමලය සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පාද ත්‍රීකුනාමලයේ කල්‍යාණවංශ තිස්ස නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි පූර්න වස් කාල පරිච්ඡේදයේදී උතුම්වූ මහාසංඝ රත්නයට සිව්පසයෙන් සතකාර සිදුකරමින් ධර්මානුකූල කටයුතු හී පැවතියහ. ඒ අතර උතුම් කඨින වස්ත්‍රය මසා, පඬු පොවා සැකසීමත්,අනතුරුව එම
කඨින චීවරය බෞද්ධ මහා සම්මේලනයේ විශේෂයෙන් සකසන ලද පීටිකාවක තැන්පත්කර වන්දනාමාන කිරීමත්,කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මෙම චීවරය වඩමවමින් බොහෝ දෙනාගේ හිත සුව පිණිස පින් රැස් කර ගන්නට අවකාශය සලසා දෙන ලදී.මෙම තුන් මාසය පුරාවටම ගෞරවනීය මහා සංඝරත්නයට සිව්පසය පූජා කරමින් එම ශාසනික ක්‍රියාවලියෙ නිරතවෙමින් අප හා එක්වූ,
වචනයකින් හෝ අනුග්‍රාහකත්වය ලබාදුන් හෝ දැකබලා සතුටු වූසියලු දෙනාට කෘතවේදී පූර්වක පින් අනුමෝදන් කර සිටිමු. එමෙන්ම ඔක්තෝබර් මස 30 සහ 31 දෙදින ත්‍රිකුණාමල ප්‍රදේශය මුල්කොටගෙන කඨින චීවරය එම ප්‍රදේශයේ නිවාස කිහිපයකට වඩම්මමින් බොහෝ දෙනාගේ හිත සුව පිණිස වන්දනාමාන කරමින් පසුව එම චීවරය මහ පෙරහැරින් වඩමවා, සඟ සතු කොට පූජා කිරීම හා මහා සංඝගත දක්ෂිණාමය පින්කම ත්‍රිකුණාමල ප්‍රදේශයේ ස්වාමීන් වහන්සේලා විසිදෙනමකගේ වැඩමවීමෙන් සිදුවිය. මෙම කුසලයේ ආනිසංස, මෙවන් අසීරු කාල පරිච්ඡේදයක් පුරාවට උතුම් බුද්ධ රත්නයට ධම්මරත්නයට හා සංඝරත්නයට ඇප උපස්ථාන කරමින් අනුග්‍රාහකත්වය ලබා දුන් සියලූම දෙනාට හා මෙම උතුම් පින්කමක් දැක බලා සතුටු වූ සැමටම, සියලුම සම්ම්යදෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාට හා ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ සියලුම ජනතාවටත් අත්වේවා. එමෙන්ම ත්‍රිකුණාමලය ඓතිහාසික සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධීශ්වර ත්‍රීකුනාමලයේ කල්‍යාණවංශ තිස්ස ස්වාමීන් වහන්සේටත් අප සියලු දෙනාගේම නමස්කාර පූර්වක ස්තුතිය මෙන්ම උන්වහන්සේ ද සිදු කරගෙන යනු ලබන ශාසනික ආගමික කටයුතු ඒ ආකාරයෙන්ම දෙවියන්ගේ රැකවරණයෙන් තුණුරුවනේ ආශිර්වාදයෙන් සඵලවීමටත් ඒසදහා ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා යන්නත් බෞද්ධ මහා සම්මේලන ගරු සභාපතිතුමා, ආගමිකහා සංස්කෘතික මංඩලයේ සභාපතිනිය ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඒකායන ප්‍රාර්ථනයයි.




















